මේ කියන දිනයේ කාලගුණය එතරම් යහපත් නැත. හීනියට ආ සිරි පොද වැස්‌ස ටික ටික සැර වෙමින් තිබුණි. වැහි පොදයේම කඩයට ගොඩ වුණ එක්‌තරා පොලිස් කොස්‌තාපල්වරයෙක් තොප්පිය ගලවා වැහි බිඳු ගසා දමමින් මුදලාලි මට හොඳ කොත්තුවක් දාන්ඩ යෑයි කිවේය.
මුදලාලිට කොස්‌තාපල්ගේ මුහුණ පුරුදුය. ඔහු සිනාසී කොස්‌තාපල්වරයාට වාඩිවෙන්නට කීවේය. අපේ රාළහාමිට හොඳ චිකන් කොත්තුවක් දාන්න යෑයි කෑගැසූ ඔහු අනෙකුත් ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවල නිරතව සිටියේය.
තරුණ කොත්තු බාස් රත් වී ගිනියම් වූ රොටි තැටිය මත චිරීස්... ගා තෙල් පාරක් විසිරුවා හැරියේය. ඒ මත ලියාගත් ලීක්‌ස්, කැරට්, ලූනු ආදී ලට්‌ට පට්‌ට වැටිණි. බිත්තරයක්, චිකන් කැබැල්ලක් වැටිණි. ඊට උඩින් හීනියට ලියාගත් රොටි කැබලි තට්‌ටුවක් වැටිණි.
ටකට.. ටකට... ටකට... ටකට... හඬ රටාවකට විනාඩි 2 ක් පමණ ඇසිණි. ඉන් පසුව උණු උණු කොත්තුව පිඟානකට දමාගත් කොත්තු බාස් මෙන්න අපේ රාළහාමිගේ චිකන් කොත්තුව යෑයි කියමින් වටපිට බැලීය.
රාළහාමි නැත. ඔහු මුදලාලි ළඟ හිටගෙනද නැත. ඇතුළේ මේසයක බංකුවක වාඩිවී ද නැත.
කෝ මේ රාළහාමි... මේ දැන් ඇතුළට ආවනේ... කොල්ලා කීවේය.
මුදලාලි ද පුදුමයෙන් වටපිට බැලීය. ඇතුළේ ද එළියේ ද මිදුලේ ද පාරේද රාළහාමි කෙනෙක් නොවීය. ඔහුගේ හිත වේගයෙන් එහා මෙහා දිවයන්නට විය. මෑතකදී එක්‌තරා පත්තරයක කියවූ, මැදියම් යාමයේ පැමිණෙන, දුටු මොහොතේම අතුරුදන් වන භූත කතාවක දර්ශන පෙළක් ඔහුගේ හිත අද්දර එකින් එක පෙළගැසෙන්නට පටන් ගත්තේය. ඔහුට ඒ රාළහාමිගේ මුහුණුවර මතක් විය. ඒ මුහුණුවර ඔස්‌සේ ඇදී ගිය මුදලාලිගේ සිතුවිලි මෑතකදී අතුරුගිරිය අධිවේගී මාර්ග ප්‍රදේශයේ වූ එක්‌තරා රිය අනතුරක සිද්ධියක් ළඟ නතර විය.
මුදලාලිගේ යටි පතුලේ සිට හිස් මුදුන දක්‌වා සර්වාංගයේම හීන් දහදිය දමන්නට පටන් ගත්තේය.
අර ඇක්‌සිඩන්ට් එක වෙලා මැරිච්ච රාළහාමි තමයි ඒ ආවේ...
කොත්තු බාස් ද වෙව්ලා ගියේය. ඔහුගේ අතෙහි තිබූ උණුම උණු කොත්තු පිඟාන සලාං ගා බිම වැටී කෑලි කෑලිවලට බිඳී ගියේය.
අතුරුගිරියේ මිත්‍රයා එතරම් දිගු විස්‌තරාත්මක හෑල්ලක් මට කීවේ නැත. ඔහු කීවේ මියගිය රාළහාමිගේ භූතයා රෑ කඩයකට පැමිණ කොත්තුවක් ඉල්ලූ බවට ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කට කතාවක අංශු මාත්‍රයක් පමණි.